නීතියේ ආධිපත්‍යය නැවත තහවුරු වුණා | දිනමිණ

නීතියේ ආධිපත්‍යය නැවත තහවුරු වුණා

සිතාරා සේනානි

තම පියාගේ ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් සම්බන්ධයෙන් පෙරේදා (11) ලැබුණු අධිකරණ තීන්දුව පිළිබඳ බෞද්ධයකු ලෙස තමන් කනගාටු වුවත්, එමඟින් නීතියේ ආධිපත්‍යය නැවත වරක් තහවුරුවීම පිළිබඳ බෙහෙවින් සතුටට පත්වන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

කිසිදු බලපෑමකට යටත් නොවී ‍අදාළ පංච පුද්ගල විනිසුරු මඬුල්ල මෙවැනි තීන්දුවක් ලබාදීම සම්බන්ධයෙන් තම සතුට පළ කරන බව ද මන්ත්‍රීවරිය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදීය.

එහි දී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, මම පුද්ගලිකව බෞද්ධයකු විදිහට කනගාටු වෙනවා.

හැබැයි පුරවැසියකු විදිහට සතුටු‍ වෙනවා නීතිය, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම පිළිබඳ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට මම මගේ ආචාරය පුද කරනවා. මේ ගැන ලොකු කතාබහක් ගියා පසුගිය සතිය ඇතුළත මේ පුද්ගලයා එළියට එනවා කියලා. විනිසුරුතුමන්ලා බය නැතිව මත්කුඩු ජාවාරමේ මුදල්වලට නොනැමී මේ තීන්දුව ලබා දීම ගැන මම සතුටු වෙනවා. මේ නඩුව විභාගයට ගන්න අවස්ථාවල පැමිණිල්ලේ නීතීඥවරයා දක්වන අදහස් එක් නාලිකාවක් තමන්ගේ ප්‍රවෘත්තිවල පළ කළේ විනිසුරුවරයා දැක් වූ අදහස් විදිහටයි ප්‍රචාරය කළේ. මේකත් එක්තරා විදිහට අධිකරණයට අපහාස කිරීමක්.

මම අද සතුටු වෙනවා විශේෂයෙන්ම පුරවැසියෙක් විදිහට. පෙරේදා දිනය ඉතිහාසගත වන දිනයක්. මගේ පියාගේ ඝාතනයට දැන් අවුරුදු 7ක් ගත වෙලා. පෙරේදා මේ තීන්දුව ලැබෙන්නේ නැතිව අනෙක් පැත්තට තීන්දුව ගියා නම් අනාගතයේ දවසක මට මගේ පුතාගේ පරම්පරාවට කියන්න සිදුවෙන්නේ ඔබේ සීයා එයාගේ ඔළුවට වෙඩි තියා ගත්තා කියලයි. වත්මන් රජය අධිකරණයේ ස්වාධීනතාව ස්ථාපිත කළා. අවසානයේ විනිසුරුවරුන් ලබා දුන් මේ තීන්දුව අධිකරණයේ ස්වාධීනතාව ගැන ලියවෙන ලොකු පිටුවක් බවට පත් වෙනවා. ප්‍රියසාද් ඩෙප් අගවිනිසුරුවරයා ‍විශ්‍රාම ගියා. එතුමා වැඩක් කරලා තමයි විශ්‍රාම ගියේ. ඒ නිසා එතුමාගේ නම රන් අකුරින් ලියවෙන නමක් බවට පත් වෙනවා.

අපේ ජනාධිපතිවරයෙක් පත් වුණාට පසුව දුමින්දව එළියට ගන්නවා කියලා ‍සමහරු කියලා තිබෙනවාත් මම මාධ්‍යවල දැක්කා. ඒක කවදාවත් වෙන්නේ නෑ. ජනාධිපතිවරයා ලේසියෙන් වෙනස් වෙන්නේ නෑ. එදා පැවැති රජය අදත් තිබුණා නම් අද මම වෙනුවට පාර්ලිමේන්තුවේ ඉන්නේ කුඩුකාරයෙක් වෙන්න පුළුවන්.

මා සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා දෙකක් පළ වුණා. එයින් එකක් තමයි දැනට අධිකරණයේ විභාග වන යම් නඩු කටයුත්තක දී මා වරද පළිගත්තාය කියන කාරණය. ඒ පිළිබඳ මම පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළා. මා බලාපොරොත්තු වූ නිවැරැදි කිරීම අදාළ ප්‍රවෘත්තිය පළ කළ මාධ්‍යවල පළ වුණේ නෑ. මට එල්ල කළ අනෙක් චෝදනාව ආයතනයකින් රුපියල් කෝටි දෙකක් ලබා ගෙන මූල්‍ය වංචාවක් සිදුකළා කියන එකයි. ඒ පිළිබඳත් මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කළා ඒ ගැන නිවැරැදි සිද්ධිය වාර්තා කරන්න කියලා. එක් ප්‍රධාන පුවත්පතක මුල් පිටුවේ එය පළ වුණා. තවත් විද්යුත් මාධ්‍යයක ප්‍රවෘත්ති විකාශයෙන් මෙහි ඇත්ත කතන්දරය එළි කරමින් එය වෙනත් පුද්ගලයකු විසින් අයථා ලෙස මුදලක් ලබා ගෙන තිබෙන බව සඳහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් සී.අයි.ඩී. එකෙන් මට කතා කරන්න නැතිව ඇත්තේත් චෝදනාවක් නැති නිසා වෙන්න ඇති.

මම මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ දේවල් පළ කරන්න පෙර ඒවායේ ඇත්ත නැත්ත සොයලා බලන්න, අපෙනුත් ඒ ගැන අහලා බලන්න කියලයි. හේතුව මේ වගේ දේවලින් පුද්ගලයකුගේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන නිසයි. මොන පදනමක් උඩ මේ වගේ ප්‍රවෘත්තියක් පළ වුණා ද කියන්න මම දන්නේ නෑ. මේ පැමිණිල්ල කළ බවට මාධ්‍යවල නම පළ කළ පුද්ගලයා මට කථා කර පැවැසුවා එයට ඔහුගේ කිසිම සම්බන්ධයක් නෑ කියලා. සියයට සියයක්ම මේ වගේ දේවල්වලට මගේ කිසිම සම්බන්ධයක් නෑ කියලත් කියන්න කැමතියි. මේ වගේ චෝදනාවක් මට විරුද්ධව එල්ල කිරීම ගැන මම කනගාටු වෙනවා. මෙතැන කිසිම තැනක මගේ අස්සන යොදා නැහැ. මාධ්‍යයෙන් මම ඉල්ලා සිටිනවා මගේ නම මේකට සම්බන්ධ කර ගන්න හේතු වූ කරුණු මොනවාද කියලා සොයා බලන්න කියලා.

අදහස් 1ක් ඇත

Fake news is a menace in the whole world. That is why people don't believe main stream media now. Sooner or later they will have a natural death

නව අදහස දක්වන්න