ළදරු ආහාර බහලුම් වස විස | දිනමිණ

ළදරු ආහාර බහලුම් වස විස

මංජුලා විජයරත්න

රසායනික ද්‍රව්‍යය මුසු කරන ලද ආහාර පරිහරණය කරන්නට සිදුවීම මේ යුගයේ ජීවත් වන මිනිසුන් මුහුණ දුන් බරපතලම ඛේදවාචකයකි. කෘත්‍රිම රසකාරක, වර්ණක ආදිය යෙදූ ආහාර කුඩා දරුවන්ට පවා අද කෑමට ගැනීමට සිදුව තිබේ. එසේ වුවත් ළදරු ආහාර පාන නිෂ්පාදනය කරන සමාගම් බලධාරීහු මෙන්ම මවුපියෝ ද ඒ ගැන ප්‍රමාණවත් තරමේ අවධානයක් යොමු නොකරති. ළමා රෝග පිළිබඳ ඇමෙරිකා ඇකඩමිය මෙහි ඇති දැඩි අවදානම් සහගත තත්ත්වය පසුගිය දා අනාවරණය කළේය. ආහාරවල අඩංගු රසායනිකයන් කිහිපයකට දරුවන් කෙසේවත් නිරාවරණය නොකළ යුතු බැව් එකී ආයතනය අවධාරණය කරයි. එහි විද්වතුන් පෙන්වා දෙන්නේ එම රසායනිකවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් ආහාරවලට එකතු වී තිබෙන්නේ, ඒවා බහාලන ඇසුරුම් හරහා යැයි කියාය. මෙම අනතුරු ඇඟවීම කරන්නට පාදක වූ පර්යේෂණයේ, පර්යේෂණ පත්‍රිකාව පසුගිය 23 වන දා එළිදැක් වුණු “පීඩියට්‍රික්ස්”ජර්නලයෙහි පළව ඇත.

මේ අන්දමට දරුවන්ගේ ශරීරයට ඇතුළු නොවිය යුතු රසායනිකයන් අතර නයිට්‍රේට, නයිට්‍රයිට, බයිස්ෆිනෝල් A, ෆ්තැලේට, පර්ෆ්ලුවොරෝ ඇල්කයිල, පර්ක්ලෝරේට සහ කෘත්‍රිම වර්ණක ආදිය ඇත. නයිට්‍රේට සහ නයිට්‍රයිට අඩංගු වන්නේ, ආහාර සංරක්ෂණ ද්‍රව්‍යවල ය. මස් වර්ග යොදා සකසන ආහාර කල් තබා ගැනීම සඳහා නයිට්‍රේට සහ නයිට්‍රයිට අඩංගු ආහාර සංරක්ෂක ද්‍රව්‍යය යොදන බව සඳහන් වේ. බයිස්ෆිනෝල් A භාවිතයට ගැනෙන්නේ ශක්තිමත් ප්ලාස්ටික් සකස් කරගැනීම සඳහායි. බයිස්ෆිනෝල් A, දීර්ඝ කාලයක් තිස්සේ මනුෂ්‍යය ශරිරයට ඇතුළු වන විට ශරීරය ස්ථුල තත්ත්වයට පත්වන්නට පුළුවන. ඒ හැරුණු විට පිළිකා සහ හෘද රෝග ඇති වන්නටත් බයිස්ෆිනෝල් A හේතුවක් වේ. ළදරු කිරි බෝතල් සහ දරුවන් භාවිත කරන කෝප්ප තැනීම සඳහා බයිස්ෆිනෝල් A භාවිතයට ගැනීම ඇතැම් රටවල් තහනම් කර තිබෙන්නේ එකී කාරණා නිසයි.

ෆ්තැලේට එකතු කෙරෙන්නේ නම්‍යශීලී ප්ලාස්ටික් එහෙමත් නැත්නම් මෘදු ප්ලාස්ටික් සැකසීම සඳහා ය. පර්ෆ්ලුවොරෝ ඇල්කයිල ග්‍රීස්, ජලය සහ වර්ණක ආදියට ප්‍රතිරෝධී බව සඳහන් වේ. එම රසායනිකයන් නිසා මිනිස් සිරුරේ අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ හැරුණු විට ස්ථුල බව ඇතිවන්නටත් එකී රසායනිකයන් හේතු වේ. පර්ෆ්ලුවොරෝ ඇල්කයිල ඉන්සියුලින්වලට ද ප්‍රතිරෝධීය. එනිසා සෛල ඉන්සියුලින්වලට නියමාකාරයෙන් ප්‍රතිචාර නොදක්වන්නට පටන් ගනී. සෛල තුළ ඉන්සියුලින් නිෂ්පාදනය අක්‍රමවත් තත්ත්වයකට පත්වන්නට මෙය හේතුවක් වේ.

ආහාරවලට එකතු කෙරෙන කෘත්‍රිම රසකාරකවල අඩංගු රසායනිකයන් දරුවන්ගේ ස්නායු පද්ධතියට අහිතකර බලපෑම් එල්ල කරන්නට ද සමත් ය. එමඟින් සිදුවන්නේ “හයිපර්ඇක්ටිව්”හෙවත් අසාමාන්‍යය ක්‍රියාකාරීත්වයක් ඇති දරුවන් ඇති වීමයි.

පළමුව කී පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂකයා, නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයට අනුයුක්ත වෛද්‍යය විද්‍යාලයේ පාරිසරික ළමා රෝග පිළිබඳ අධ්‍යනාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ලියනාර්ඩෝ ට්‍රාසන්ඩේ ය. ආචාර්ය ලියනර්ඩෝ පවසන්නේ මතු දැක් වූ රසායනිකයන් භාවිතය සම්බන්ධ නියාමනයන් මේ වනවිට ඇති විය යුතු බවකි.

“... ළමයින් හුඟක් දේවල් ආහාරයට ගන්නවා. ඒ ආහාර වර්ග හරහා රසායනික විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ශරීරවලට ඇතුළු වෙනවා. වැඩිහිටියන්ගේ ශරීරයට ආහාර හරහා ඇතුළු වන රසායනික ප්‍රමාණයට සාපේක්ෂව එය ඉහළ මට්ටමක තිබෙන්නේ. ... දරුවන්ගේ අවයව පද්ධති වැඩෙමින් තිබෙන ඒවා. රසායනිකයන් නිසා ඒවා හුඟක් ඉක්මනින් අනතුරුවලට භාජනය විය හැකිය. අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය බිඳ වැටීමක් මූලික වශයෙන් ඇති වෙන්න පුළුවන්. එමඟින් ඇතිවන බලපෑම දරුවාගේ ළමා වියේදී පමණක් නොවෙයි ඔහුගේ වැඩිහිටි අවධියේදීත් පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. ...”

ආහාරවල අඩංගු රසායනික නිසා තයිරොයිඩ්, ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරෝන් යන හෝර්මෝනවල ක්‍රියාකාරීත්වයේ බිඳ වැටීමක් සිදුවන්නට ඉඩ ඇතැයි කියා විශේෂඥයෝ සැක පළ කරති. එම තත්ත්වයන් හේතු කරගෙන ස්ථුලතාවය වැඩිවීමේත් උපත ලබන දරුවන්ගේ බර අඩු වීමේත් අවදානමක් ඇති විය හැකි බවට අනුමාන කෙරේ. ආචාර්ය ලියනාර්ඩෝ පවසන අන්දමට තයිරොයිඩ් හෝර්මෝනය මොළයේ වර්ධනයට පමණක් නොව හෘදයේ අස්ථිවල සහ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයටත් බෙහෙවින්ම වැදගත් ය. තයිරොයිඩ් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය බිඳ වැටීම, මිනිස් සිරුරේ බොහෝ පද්ධතිවලට අයහපත් ලෙස බලපානු ඇත.

මේ තත්ත්වය තුළ දරුවන්ට ආහාර පාන මිලදී ගැනීමේදී වැඩිහිටියන් ඉතා පරික්ෂාකාරී විය යුතු බැව් අවධාරණය කෙරේ. එපමණක් නොව ගර්භනී තත්ත්වයේ සිටින මව්වරුන් පවා ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍යයවලින් ප්‍රවේසම් වියයුතුව ඇත. ප්ලාස්ටික් ඇසුරුම්වල සහ කෑන්වල බහා ඇති ආහාර පරිහරණය බැහැර කිරීම මෙන්ම එළවලු සහ පළතුරු පරිභෝජනය වැඩි කිරීම වැදගත් ආරක්ෂ පියවර කිහිපයකි.

CNN ඇසුරෙනි

නව අදහස දක්වන්න