ගල්කුළු මතින් ඇදහැලෙන ගලබඩ ඇල්ල | දිනමිණ

ගල්කුළු මතින් ඇදහැලෙන ගලබඩ ඇල්ල

සීත මීදුමින් වෙළාගත් ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශය, සොබාදහමේ චමත්කාරවූත්, ආස්වාදජනක වූත් රූ රටා මවනා කලාගාරයක් බඳු ය. ගල්කඳු මතින් පෙණපිඩු නංවමින් ගලා හැලෙනා සුනිල දිය දහරා, ගතට මෙන් ම නෙතට ද ගෙනදෙන්නේ මහත්වූ සැනසුමකි. විටෙක ඒ දෙස බලා සිටීම විදර්ශනාවක් බඳු ය. ඒ තරම් ම එය වචනයෙන් පවා විස්තර කළ නොහැකි තරම් චමත්කාර ජනක ය.

නාවලපිටිය නම් අතිරමණීය බිම් පෙදෙසේ පිහිටි ගලබඩ දිය දහර , සොබාදම් මවගේ ඇකයේ වැ‍ඩෙන තවත් එක් අමිල සම්පතකි.

උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන පසුකර ගමන් කරනවිට, දොළොස්වන දුම්රිය උමඟ හමුවේ. එය , දහතුන් වැනි බිංගෙය වේ. ඒ අතර ඊට වම්පසින්, තුරු වියන් මැදින් දිස්වන්නේ ගලබඩ දිය දහර ය. එහි සුන්දරත්වය නරඹන අතරේම, මද දුරක් ගමන් කළ විට හමුවන්නේ ග‍ලබොඩ දුම්රිය ස්ථානයයි.අතීතයේ රජවරු ආරක්ෂාව පතා ඔවුන්ගේ වස්තු සම්භාරය මේ ප්‍රදේශයේ තැන්පත්කර තිබූ බවත්, ගබඩාගම පසු කලෙක විකාශනය වී ගලබඩ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

ගලබඩ දුම්රියපොළට ආසන්න ප්‍රදේශයේ 'නිල්දිය පොකුණ' නමැති පොකුණකි. එහි, ඝණත්වයෙන් වැඩි සුපිරිසුදු උල්පත් ජලය ඇති බව, දෙස්, විදෙස් පර්යේෂකයන් සනාථ කර ඇත. ඒ අතරම, ඉංග්‍රීසි පාලන සමයේ රජ ගෙදරට පවා මෙයින් ජලය ගෙනගොස් ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ගලබොඩ දුම්රිය ස්ථානයෙන් බැස, ස්වල්ප දුරක් ගමන් කිරීමෙන් පසුව 'ගලබොඩ ඇල්ල' නමින් නාම පුවරුවක් දැකගත හැකි ය. එම මාර්ගය තරමක් දුෂ්කර ය. එමඟ දිගේ ගමන් ගන්නා විට, තුරු වියනින් යුතු අතිශය සුන්දර මඟ දෙපස හිඳිමින් ගී ගයන විහඟුන්ගේ ගී මිහිර විඳගත හැකි ය. එපමණකුදු නොව, සොබාදම් දිනිතිය මැවූ අනේකවිධ නිමැවුම්වල මිහිරියාව ද විඳිය හැකි ය. මාර්ගය එතරම් සුවපහසු නොවුව ද, ස්වභාවධර්මයේ චමත්කාරජනක දසුන්, එම සියලු නොහැකියාවන් අකාමකා දැමීමට සමත් ය. පැයක පමණ ගමනකින් අනතුරුව වැල් පාලමකින්ද එගොඩ වූ පසු හමුවන්නේ, ගලබඩ දිය දහර ය. ගල්කුළු මතින් අඩි 98ක් උසින් ගලා හැලෙනා රිදීවන් දිය දහර, විටෙක නිසල වෙමින්ද ,විටෙක ප්‍රචණ්ඩ ජල කඳක් වෙමින් ද, මහවැලි ගඟ කරා ගලා යන්නේ දහස් ගණනක් ජනී ජනයාගේ සාපිපාසා සංසිඳවමිනි.

මෙහි සුන්දරත්වය සඟවාගත් භයංකාරත්වය ද විටින්විට වාර්තා වී තිබේ. වටවල ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා, ක්ෂණිකව ජලය වැඩිවන බැවින්, දිය නෑමේදී ඉතා ප්‍රවේශම් විය යුතු ය. ඒ අතරම, එහි ඇති ලිස්සන සුළු ගල් නිසා ද අනතුරු සිදුවිය හැකි බව සිහි තබාගත යුතු ය.

ඇල්ල ඉහත්තෑවේ වූ කඳු ශිකරයේ ජනප්‍රවාදයේ එන පරිදි උස්වැලකන්ද නමින් දේවාලයක් පිහිටා ඇති බවත්, මංමුළා වැල් නිසා එහි යන පාර සොයා ගැනීමට නොහැකි වන බව ගැමියන්ගේ විශ්වාසයයි.

දේශීය සංචාරකයකුගෙන්, ගලබොඩ ඇල්ල නැරැඹීම සඳහා රුපියල් පනහක මුදලක් අය කළ ද, එහි ගොඩනගා ඇති පහසුකම් නඩත්තු කරන සෙයක් නම් දක්නට නොමැත. ඇල්ල නැරැඹීම සඳහා මැදිරියක් තිබුණ ද, එයට ළඟා වීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත්තේ, මැදිරිය වටකර විශාල ගස් වැටී ඇති බැවිනි. සනීපාරක්ෂාව සඳහා වැසිකිලියක් තිබුණ ද, අත්‍යවශ්‍ය අංගයක් වූ ජලය එහි නොමැත. මේ නිසා, සංචාරකයන් දැඩි අපහසුතාවට ලක්වීම සුලභ ය. යම්තාක් දුරකට එහි කැළිකසළ ද ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳව බලධරයන්ගේ අවධානය යොමුවන්නේ නම් කාලෝචිත බව කිවයුතුම ය.

සටහන සහ ඡායාරූප
නයංජන දිසානායක

නව අදහස දක්වන්න