සුරතල් බැල්ලට හමුවූ සපත්තුව
කුරිකට්ටුවාන් පොලිස් මුරපොළෙන් සහනයක් නොලැබීම ඇය මහත් වේදනාවට පත් කළාය. අනතුරුව ඇය වහා දිව ගියේ කයිට්ස් පොලීසිය වෙතය.
තම ආදරණීය දියණියගේ අතුරුදහන්වීමෙන් බියටත්, ශෝකයටත්, පත්ව කරකියාගත හැකි යමක් තෝරා බේරාගත නොහැකි තරමට ව්‍යාකූල මනසකින් සිටි සරස්වතී මව පොලිස් ගෙට්ටුව ළඟදී නතර කරනු ලැබිණි.
"කොහෙද දුවන්නේ. කවුද හම්බවෙන්න ඕන" ගේට්ටුව අසල හුන් පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න වැලකි. ඇය ඔහුට කෙටියෙන් කරුණු පවසා පොලිස් ස්ථානයට ඇතුළු විය. පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් කළ වහාම පොලිස් නිලධාරීන් විද්‍යා සොයා මෙහෙයුමක් දියත් කරනු ඇතැයි සරස්වතී මව බලාපොරොත්තු වූවාය. එහෙත් සිදුවූයේ 'වඳින්නට ගිය දෙවොල හිස මත පාත්වූවාක් මෙන්' හිත් රිදවන අත්දැකීමකි.
"ඔය වයසෙ ළමයිගෙ අතුරුදහන්වීම් ගැන එච්චර ලොකුවට හිතන්න ඕන නෑ" පොලිස් නිලධාරියෙක් කියා සිටියේ ඇයගේ කතාව තුට්ටුවකට හෝ මායිම් නොකරමිනි.
"එහෙම කියල කොහොමද බුදු මහත්තයෝ. අද උදේ තේ එකක් බීලා ඉස්කෝලෙ ගිය ළමයා? අම්මා හඬා වැටුණාය.
"දුව ලස්සනයි කීවවා නොවැ. වයසත් හරි නොවැ. කොල්ලෙක් එක්ක පැනල යන්න ඇති. තාම දවසක්වත් නෑනේ. හෙට අනිද්දට ගෙදර ආවම බෑණා ඩිංගත් එක්කම පොලිසියට ඇවිත් යන්නකෝ"
පොලිස් නිලධාරීන්ගේ උසුළු විසුළු, සමච්චල් හිනා හඬ මැද්දේ තව තවත් අසරණවූ ඇය අවසානයේ කිසිදු පිළිසරණක් නොමැතිව මහ මගට බැස්සාය.
දෙවියන්ට කන්නලව් කරමින්, පොලීසියට දෙස් දෙවොල් තියමින් හැඬූ කඳුළින්ම ඇය නින්දක් නොලබාම රැය පහන් කළාය. පසුදින අසල්වැසි හැමෝමත්, විද්‍යාගේ වැඩිමහල් සොයුරාවූ නිශාන්තන් ඇතුළු පවුලේ උදවියත් විද්‍යා සොයමින් සිටියහ. වනරොදවල්, ගරාවැටුණු ගොඩනැඟිලි, වැසීගිය පාරවල් ඔස්සේ ඇතැමුන් කැලෑ පීරමින් විද්‍යා සොයද්දී තවත් අය අසල ගම්වල දන්නා කියන උදවියට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඇය ගැන හෝඩුවාවක් සොයාගැනීමට උත්සුක වෙමින් සිටියහ. මේ අතර විද්‍යාගේ සුරතලාවූ කුට්ටිද, නිවැසියන්ගේ අවධානයෙන් ගිළිහී ඇතැමුන්ට බුරමින් එහා මෙහා දුවමින් සිටියේය. විද්‍යාගේ සොයුරා ඇතුළු තරුණයින් කිහිපදෙනෙකු නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පාරේ එක්ව කතා බහ කරමින් සිටියේ සොයුරිය සොයාගැනීමට තවත් කොහේ යා යුතුද, කාට කිව යුතුද යන්න පිළිබඳවය. එකෙණෙහිම පඳුරක් අතරින් මෑත්වූ කුට්ටි තම කටින් ඩැහැගෙන ආ යමක් නිශාන්තන්ගේ දෙපා අසල බිම දැමුවාය.
"අයියෝ..නංගිගෙ සපත්තුව.."නිශාන්තන්ට කෑගැසුණි. හැමෝම මොහොතකට තුෂ්ණිම්භූතව ඊළඟ නිමේෂයේ සිහි එළවාගත්හ. විද්‍යාගේ සපත්තුව බිම දැමූ කුට්ටි, නැවත වනරොද තුළට වැදුණාය. හැමෝම ඌ පසුපසින් දිව ගියහ. එතැන පාරේ සිට මීටර් 15ක් පමණ වනරොද තුළට වන්නට අත්තික්කා ගසක ගැට ගසා තිබුණු තම සොයුරියගේ මළ සිරුර නිශාන්තන්ට දැක ගැනීමට හැකිවිය. ඔහු සිහිසුන්ව බිම ඇදවැටිණි. කුරා කූඹියෙකුටවත් හිරිහැරයක් නැති අහිංසක දැරියක, කෲරතර අපරාධකරුවන්ට ගොදුරක්ව අකලට මිළානව තිබිණි. එම දසුන ඇසට කඳුළක් නොගෙනෙන, සිතට කෝපයක් අවුළුවන කිසිවකුත් මිහිපිට සිටිය නොහැකිය. ගම්මුන් නොසන්සුන් වීම ආරම්භ විය.
" කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා පොලිසියට ගියත් පැමිණිල්ල බාර ගත්තෙ නෑ. දැන් කෙල්ලගෙ මිනිය හම්බවෙලා තියෙනවා" ගම්වැසියකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් දුන්නේය. මූලාරම්භයේදී සිද්ධියේ බරපතළකම හඳුනා නොගත් කයිට්ස් පොලීසිය වහාම ක්‍රියාත්මක විය. පොලිස් පරීක්ෂණ ආරම්භ විය. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හදිසි මරණ පරීක්ෂක මයුරන්ද, මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා කයිට්ස් මහේස්ත්‍රාත් ලෙනින් කුමාර මහතාද පැමිණියේය. ඒ වනවිටත් මළ සිරුර නරක්වීම ආරම්භවී තිබුණු අතර මුහුණ විරූපිවීමට පටන්ගෙන තිබුණි. ඒ නිසාම හැකිතාක් ඉක්මනින් අවමංගල්‍ය කටයුතු අවසන් කරන ලෙස උපදෙස් ලැබුණු බැවින් මැයි මස 15 වන දින ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ අවසන් කටයුතු පුංකුඩතිව් සුසානභූමියේදී සිදුකෙරිණි.
සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂණ ආරම්භවීමෙන් පසු කයිට්ස් පොලිස් නිලධාරීන් විසින් විද්‍යාගේ මවගෙන් තොරතුරු විමසීම ආරම්භ කරන ලදී. තම දියණිය අතුරුදන්වූ බවට පැමිණිල්ලක් සටහන් කිරීමට ගිය ඇයට එදින රාත්‍රීයේ පොලිස් නිලධාරීන් විසින් සමච්චල් කළ අයුරු සිහිපත් නොවුණා නොවේ. එහෙත් මේවන විට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. දියණියගේ ඝාතකයින්ට නිසි දඬුවම් ලබාදීමට නම් මෙම පරීක්ෂණ සඳහා තමන් සහයෝගය දැක්විය යුතු බව ඇය පැහැදිලිව දැන සිටියාය. එම නිසා තරහ ඉවසා පොලිස් නිලධාරීන්ට කරුණු දැක්වීමට සරස්වතී මව ඉදිරිපත් වූවාය.
"අම්මා. මේ අපරාධයට සැක කරන කවුරු හරි ඉන්නවද?
එම ප්‍රශ්නයෙන් ඇයට තම දියණිය ඝාතනය වීමට පෙරදින දහවල් ආලඩි හංදියට ගොස් පැමිණි අවස්ථාවේදී කී දෑ සිහිපත් විය. තමන් දෙස අමුතු බැල්මෙන් බලා සිටි කිසියම් පිරිසක් ගැන විද්‍යා කී දේවල් මව විසින් පොලිසියට දැනුම් දුන්නාය.
"පවුලේ උදවියත් එක්ක තරහ අය හිටියද?
කිසිවෙකුටත් වරදක් නොකළ තම සැමියා හෝ පුතු ඇයට සිහිපත් විය. ගමේ සියලුදෙනාම පාහේ ශිවලෝගනාදන් පවුල සමග සමීපව කටයුතු කළ අතර වෛර බැඳගත් කිසිවකුත් ඇයට මතකයට නඟා ගැනීම අසීරුය. එසේ වුවද, නිවසට සමීපව වසාදමා පැවති තවත් නිවසක් ඇයට සිහිපත් විය. එම නිවසේ හිමිකාරිය මේවන විට පදිංචිව සිටියේ කොළඹ, ආදුරුප්පුවීදියේය. වසා දමා තිබුණු එම නිවසේ දොරගුළු දිනෙක හැරදමා තිබිණි. හිමිකාරිය ගමට ඇවිත්දැයි සෝදිසි කර බැලුවද, එවැන්නක හෝඩුවාවක් හෝ සොයාගත නොහැකිවූ තැන ඇයගේ කොළඹ පිහිටි නිවසට දුරකථන ඇමතුමක් ලබාදුන්නාය. නිවසේ දොරගුළු හැරදමා ඇති බවට ලැබුණු ආරංචියට පසුදිනම පුංකුඩතිව් පැමිණි අසල්වැසි හිතවතියට දැකගත හැකිවූයේ තම නිවස බිඳ එයින් පුටු හයක් සොරාගෙන ගොස් ඇති බවයි. එම සොරකම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි කොට සිදුකෙරුණු පරීක්ෂණවලට අනුව තිදෙනෙකු වරදකරුවන් බවට අධිකරණයේදී තහවුරුවී තිබිණි.
සිද්ධියට මාස ගණනක් ගතවී තිබුණද, 'ඔවුන් හොඳ මිනිසුන්' ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි බැවින් හා තව දුරටත් සැකකටයුතු ලෙස හැසිරෙන බැවින් මේ තිදෙනා මෙම අපරාධයට යම් කිසි සම්බන්ධයක් ඇතැයි තමාට සාධාරණ සැකයක් පවතින බව සරස්වතී මව පොලීසියට කියා සිටියාය. මවගේ කටඋත්තරය අනුව පොලීසිය විසින් එම පුද්ගලයින් තිදෙනා පළමුවෙන්ම අත්අඩංගුවට ගන්නා ලදී. එලෙස අත්අඩංගුවට පත්වූයේ පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජයකුමාර්, පූබාලසිංහම් තවකුමාර් යන තිදෙනාය.
අත්අඩංගුවට ගනු ලැබූ මොවුන් තිදෙනා එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අනතුරුව මැයි මස 17 වන දින මෙම සිද්ධියට අදාළ පිරිසක් යාපනයේ කෝවිලක් ළඟ වෑන් රථයකට වී සිටින බවට පොලීසියට තොරතුරක් ලැබිණ. මෙම තොරතුර පොලීසියට ලැබෙන්නේ ප්‍රදේශයේ දේශපාලන චරිතයක් මාර්ගයෙනි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟාවන විට පිරිසක් දේව මෙහෙයට සහභාගිවී උඩුකය නිරුවත්ව සිටි අතර තවත් කිහිපදෙනෙකු කෝවිල් බිමේ වෑන් රථයකට වී සිටියහ.
විද්‍යා ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස පසුව ප්‍රසිද්ධියට පත්වූ ස්විස් කුමාර්ද මෙම ස්ථානයේ පිරිස අතර සිටියද, කුමන හෝ හේතුවක් නිසා පොලීසිය විසින් ඔහුත්, ඔහුගේ සමීප තවත් සගයෙකුත් හැර සෙසු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
ශිවදේවන් දුෂාන්තන් හෙවත් පෙරියම්බි, තිල්ලේනාදන් චන්ද්‍රකාසන්, ස්විස් කුමාර්ගේ සොහොයුරු මහාලිංගම් ශෂිදරන් , නිශාන්තන්, සහ ජෙයතරන් කෝකිලන් යන සැකකරුවන් පස්දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සරස්වතී මවගේ ප්‍රකාශයට අනුව මූලාරම්භයේදීම අත්අඩංගුවට ගනු ලැබූ තිදෙනාත්, පසුව අත්අඩංගුවට ගනු ලැබූ පස්දෙනාත් බොහෝ සහයෝගයෙන් එක්ව කටයුතු කරන බවත්, පෙර සිට මොවුන්ගේ සමීප සබඳතා පැවති බවත් රහස් පොලිසියට සියුම්ව නිරීක්ෂණය කළ හැකිව තිබිණි. විද්‍යා විසින් තමා දෙස අමුතු බැල්මක් හෙළූ නාදුනන පිරිසක් සිටි බවට ඝාතනය වීමට පෙරදින දහවල් මවට කියා සිටි සිද්ධියේදී වෑන් රථයක් අසල බලා සිටියේ මෙම පිරිස බවද, පසුව අනාවරණය විය.
කයිට්ස් පොලීසිය සිතාමතාම මෙම අපරාධ සිද්ධියේ ප්‍රධානියා බවට සැක පළ කෙරෙන මහලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් සහ ඔහුගේ සමීපතමයා වන උදසූරියන් සුරේෂ්කරන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් මේවන විටත් නොසන්සුන් ව සිටින ගම්මුන් තවදුරටත් කෝපගැන්වීමට හේතුවක් විය. මේ නිසාම කුරිකට්ටුවාන් පොලිස් මුරපොළ අසලට රැස්වුණු ප්‍රදේශයේ ජනයා මෙම සැකකරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවත්, පොලීසිය විසින් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් පවසා අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අට දෙනා තමන්ට බාරදෙන ලෙසත් හඬ නැඟූහ.
"ඔය ගොල්ලන්ට නීතිය අතට ගන්න බෑ. මේ අය තවමත් අපරාධකායෝ නෙවෙයි. මේ අය අධිකරණයට ඉදිරිපත් කෙරුවම අධිකරණයෙන් දඬුවම් දේවි" පොලිස් නිලධාරීන් කෝපාවිෂ්ඨවූ ජනයාට කරුණු පැහැදිලි කරන්නට උත්සාහ ගත්තද, එය නිශ්ඵල විය. පොලීසිය මූලාරම්භයේදීම මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල බාර නොගැනීමේ සිට මහමොළකරුවන් අත්අඩංගුවට නොගැනීම දක්වාම මහජන විශ්වාසය කඩකර තිබිණි. මේ නිසාම විරෝධතාකරුවන් පාලනය කිරීම බෙහෙවින් අසීරු විය. ඇතැම් විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරුණු අතර රජයේ දේපළවලටද හානි සිදුවිය. සැකකරුවන්ගේ නිවාස කඩාදමා ගිනිබත් කෙරිණි. අවසානයේ සැකකරුවන් ආරක්ෂා සහිතව යාපනය වෙත ගෙනයාම සඳහා නාවික හමුදාවේ සහය ලබාගැනීමට පොලීසියට සිදුවිය.
"අපි මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නෑ. ඔය සිද්ධිය වෙද්දි අපි හිටියෙ කොළඹ" ශෂී, නිශාන්තන්, සහ කෝකිලන් යන සැකකරුවන් දිගින් දිගටම තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළහ.
"ඔය ගොල්ලන්ට කොළඹ අහවල් සමාජශාලාවේ සී.සී.ටී.වී බලන්න පුළුවන්." එක් අයෙක් කීහ.
"මම අහවල් වෙලාවට වැල්ලවත්තෙ අහවල් බැංකුවෙන් සල්ලි ගත්තා. බොරුනම් හොයල බලන්න"තවත් එකෙක් පැවසීය. ඇතැමෙක් තමන් කොළඹ නැවතී සිටි හෝටලයක නම කියන්නට වූහ. එහෙත් සැකකරුවන්ගේ ප්‍රකාශ බැරෑරුම් ලෙස බාරගන්නට පොලීසිය හෝ නාවික හමුදාව ඒ මොහොතේ කල්පනා කළේ නැත.
උතුරේ පොලීසියට එරෙහිව උද්ඝෝෂණ හා කලහකාරී සිදුවීම් වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරන තමිල්මාරන් මහතාගේ දුරකථනයට දිගින් දිගටම ඇමතුම් ලැබෙමින් තිබිණි. යාපනයේ නොසන්සුන්තාවයන් දිගින් දිගටම ඉහළයමින් තිබියදී, ආරක්ෂක අංශ විසින් තත්ත්වය සමහන් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් තිබිණි. පුංකුඩතිව් වැසියෙකු වූ තමිල්මාරන් මහතා ඥාතීන්ද, ගමේ හිතවතුන්ද කතා කරමින් කියා සිටියේ මෙම සිද්ධියට වහා මැදිහත් වන ලෙසයි.
පුංකුඩතිව් 10 වන කොටසේ දැරියක අමානුෂික ලෙස ඝාතනය කර තිබීමත්, කයිටස් පොලීසිය විසින් සිද්ධියේ මහමොළකරුවන් අතටම හසුව තිබියදී පවා අත්අඩංගුවට නොගැනීමත් නිසා දැරියගේ ඥාතීන්ට සාධාරණයක් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ඔවුන් පීඨාධිපතිවරයාට දැනුම් දුන්හ. මෙම අපරාධකරුවන්ට නිසි දඬුවම් නොලැබුණහොත් එය අපරාධකරුවන්ට සහයක් වනු ඇති බවත්, පුංකුඩතිව් ප්‍රදේශය අපරාධකරුවන්ටම බාරදිය නොහැකි බැවින් තමන්ගේ උපන්ගම ආරක්ෂා කිරීමට මැදිහත්වන ලෙසත් ඔවුහු තමිල්මාරන් මහතාගෙන් ඉල්ලා සිටියහ.
ප්‍රදේශයේ උද්ඝෝෂණ හා ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ ඒ වනවිටත් ජනමාධ්‍ය මගින්ද, දැකබලා ගැනීමට හැකිවූ නිසාම තවත් කල්මැරීමෙන් සිදුවිය හැක්කේ අනර්ථයක්ම බැව් ඉවෙන් මෙන් දැනුණු නිසාත් ඔහු වහාම නීතිපතිවරයාට ලිපියක් යොමු කළේය. ඒ මැයි මස 17 වනදාය. පුංකුඩතිව්හි සිදූවූ අමානුෂික ඝාතනයට අදාළව සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ කෙරෙහි ජනතාවට විශ්වාසයක් නොමැති බැවින් එම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු විශේෂ කණ්ඩායමකට යොමු කිරීමට ඇති හැකියාව සොයාබලා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමිල්මාරන් මහතා එම ලිපිය මගින් දන්වා තිබිණි.
පුංකුඩතිව් උපන්ගම වුවද, ගමෙන් පිටමංව කොළඹ ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරික ප්‍රජාවේ පිරිස්ද තමිල්මාරන්ට කතා කළහ. තමිල්මාරන් මෙම ව්‍යාපාරික ප්‍රජාව සමග සුහදව සාකච්ඡා කරනු ලැබුවේ මේ මොහොතේ ගත හැකි ක්‍රියාමාර්ගයක් ඇත්ද යන්න පිළිබඳ අවධානය යොමුකරමිනි. ඒ අනුව පුංකුඩතිව් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ඉදිකිරීම සඳහා වෙළඳ ප්‍රජාවේ මැදිහත්වීමෙන් ඉඩමක් ලබාදීමටත්, විද්‍යා ඝාතන සිදුවීමට අදාළව තොරතුරු රැස්කර පොලිස් පරීක්ෂණ සඳහා සහය ලබාදීමට ගම්මුන්ගේ රැස්වීමක් කැඳවීමටත් ඔහු තීරණය කළේය.
මෙම රැස්වීම පැවැත්වීමට දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමටත්, පොලීසියේ සහය ලබාගැනීමටත් අපේක්ෂා කළ තමිල්මාරන් මහතා ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියා කවුරුන්දැයි සොයා බැලුවේය. යාපනය ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහය. හෙතෙම තමාගේ සිසුවෙකු වග කල්පනා කළ තමිල්මාරන් මහතා පසුදින එනම් මැයි 18 වන දින යාපනයට ගියේය. ලලිත් ජයසිංහ තම පොලිස් නිලධාරීන්ට ගුරුවරයා හඳුන්වා දුන්නේය. එහෙත් ගුරුවරයා පැමිණියේ රාජකාරියකටය.
" මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් කියලා කෙනෙක්. එයා අල්ලලා නෑ. මං ඒකට පොලීසියට තොරතුරු දෙන්න සහය ගන්න පුංකුඩතිව් යනවා. මට ද්‍රවිඩ භාෂාව දන්නා නිලධාරීන් කිහිපදෙනෙක් දෙන්න." තමිල්මාරන් ඉල්ලා සිටියේය.
"ඊයේ කිහිපදෙනෙක් ඇල්ලුවා. ඒ අය අතර ඉන්නවද බලමු"
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිසියට කතා කළේය.
කයිටස් පොලිසියට එරෙහිව ගම්මුන්ගේ විරෝධතා පැවතීම නිසා ඒවන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් රැගෙන ගොස් සිටියේ යාපනයටය. කෝවිල අසල දී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ උ.පො.ප ඉරාන්ය.
" එහෙම කෙනෙකු නෑ සර්. එතැන ස්විස් කුමාර් කියන නම නෑ."
එහා පසින් ඉරාන් උත්තර දුන්නේය.
"ඔතන එයා නෑ. ඉන්නෙ මල්ලි විතරයි. එයාව අල්ලන්න ඕන"
තමිල්මාරන් කියා සිටියේය.
"යම් කිසි විදිහකින් එයා රටින් පැනලා යන්න ඉඩතියෙනවා. ඒක වළක්වන්න පියවර ගන්න"
තමිල්මාරන් කීවේය. තමන්ගේ අණ පරිදි පොලිස් මැසේජ් එකක් ලෙස කටුනායක පොලීසියට පණිවිඩය ලබාදෙන ලෙස ලලිත් ජයසිංහ විසින් ඒ මොහොතේම උ.පො.ප ශ්‍රී ගජන්ට උපදෙස් දුන්නේය. එහෙත් කටුනායක පොලීසියේ ලැබුණු ප්‍රතිචාරය වූයේ ඒ සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය බවය.
හෙට-රහස් පරීක්ෂක නිශාන්තට හදිසි දුරකතන ඇමතුමක්
රංජිත් විජේබණ්ඩාර
නව අදහස දක්වන්න