එක්සත් ජාතීන්ගේ දාහතරවන ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්රමුඛ භූමිකාව අපට පිරිනැමීම තුළ අප මෑත අවදියේ දිනාගත් සියලු ජයග්‍රහණයන්ද පෙළ ගැසී සිටින බවත් එකී ජයග්‍රහණ උදෙසා සම්මාදන් වූ ශ්‍රී ලාංකීය සමස්ත ජනතාව යුගයක් වර්ණවත් කළ පින්වතුන් ලෙසින් ඉතිහාසයට එක්වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ වෙසක් දින පණිවිඩයෙන් කියා සිටී. ජනාධිපතිතුමාගේ වෙසන් දින සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැටඑක්වැන්න එළඹෙන්නේ ශ්‍රී ලාංකීය බෞද්ධ වංශ කතාවේ ස්වර්ණමය පරිච්ඡේදයක සමාරම්භය සලකුණු කරමිනි. තෙවරක් සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් අප මාතෘ භූමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම අප ලද විරල භාග්‍යයක් ලෙසින් සලකමි. එය සම්බුදු දහෙම් ආශීර්වාදය ලැබූ පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව හිමිකරගත් විශිෂ්ට ජයග්‍රහණයක්ද වේ.
එක්සත් ජාතීන්ගේ දාහතරවන ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්රමුඛ භූමිකාව අපට පිරිනැමීම තුළ අප මෑත අවදියේ දිනාගත් සියලු ජයග්රහණයන් ද පෙළගැසී සිටින බව නිසැකය. එකී ජයග්‍රහණ උදෙසා සම්මාදම් වූ ශ්‍රී ලාංකීය සමස්ත ජනතාව යුගයක් වර්ණවත් කළ පින්වතුන් ලෙසින් ඉතිහාසයට එක්වනු ඇත.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ මෙවර ප්රමුඛ තේමා පාඨය වනුයේ “සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්” යන්නය. සමාජ සාධාරණත්වය සඳහා වන මූලික කොන්දේසිය සමානාත්මතාවයයි. බුදු සමයෙහි මූලික හරය පදනම් වන්නේ ද සමානාත්මතාවය නම් විශ්ව සාධාරණ සංකල්පය මතය.
අද දවසේ ලෝකය විසින් දැඩිව අයැද සිටින සමානාත්මතාවය, සම්බුද්ධ භාෂිතයෙහි මූලික කියැවීමක් බවට පත්වූයේ වසර දෙදහස් පන්සිය හැටඑකකට ඈත බුදුරජාණන් වහන්සේ ධරමාන සමයේය. මානව පැවැත්මේ මහා පොදු සාධකය වන, සාමය ගොඩනැඟෙන්නේ සමානාත්මතාවය, නිරෝගීව ස්ථාපිත සමාජයක බැව් බුදුරජාණන් වහන්සේ අනුදත් සේක.
ත්‍රිවිධ මංගල්‍යය අතුරෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංගල්‍යයත් සමඟ ඇරඹෙන අපේ ජාතික වංශ කතාව, මෙවර ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඔස්සේ ධරණීය අවකාශයේ නව මානයකට දිසාගත වනු ඇත. එකී අභිමානය සමඟ සියලු පටුසීමාවන් අභිභවමින් රටක් ලෙස ගෝලීය සංසදය තුළ වඩා සාඩම්බරව නැඟී සිටීමට කැපවීම මෙවර අපගේ වෙසක් අදිටන බවට පත්කර ගනිමු.
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ශුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා!
තෙරුවන් සරණයි
නව අදහස දක්වන්න