සීනි වැඩිද? ඩ්‍රැගන් ෆෘට් කන්න | දිනමිණ

සීනි වැඩිද? ඩ්‍රැගන් ෆෘට් කන්න

මදාරා මුද­ලිගේ

 

ඩ්‍රැගන් ෆෘට් කිව්වහම හැමෝටම මුලින්ම මතක් වෙන්නේ මකරා . ඒත් අවලස්සන මකරට වඩා රෝස පාටින් බැබළෙන ඩ්‍රැගන් ෆෘට් ඉස්තරම්. එය මකරගේ ළඟින්වත් තියන්න පුළුවන් වෙන්නේ නෑ. එය රසයි. ඒ තරම්ම ප්‍රණීතයි. බොහෝ දෙනා දන්නේ මෙහි ලස්සන විතරයි. ගුණ පිළිබඳ බොහෝ දෙනා නොදන්න තරම්.

ඩ්‍රැගන් ෆෘට්වල ෆයිබර් ග්‍රෑම් 0.9ක්, කැල්සියම් ග්‍රෑම් 8.8 ක්, මේදය ග්‍රෑම් 0.61ක්, කැරොටින් ග්‍රෑම් 0.012ක්, පොස්පරස් මිලිග්‍රෑම් 36.1ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 0.229ක්, ජලය ග්‍රෑම් 83.0ක් සහ අයන් මිලිග්‍රෑම් 0.65ක් යනාදී පෝෂණ සංඝටක අන්තර්ගතව පවතිනවා.

2010 වර්ෂයේ පාමකොග්නසි නමැති සඟරාවේ අමෙරිකානු වෛද්‍යවරුන් කිහිපදෙනෙක් කළ පර්යේෂණවලදී ඩ්‍රැගන්ෆෘට් යනු හෘද රෝගය ඇති රෝගීන්ට ඉතාමත්ම ගුණදායක පලතුරක් බව පවසා තිබුණා. ඒ වාගේම 2011 වර්ෂයේ පිලිකා මර්දන ආසියානු පැසිෆික් සඟරාවේදී මේ පලතුර පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන්ට ඉතාමත් ම ගුණදායක බව සඳහන් කරනවා.

මෙහි පවතින අසංතෘප්තමේදය සහ ඔමේගා 3 සහ ඔමේගා 6 යනාදී පෝෂණ සංඝටක හේතුවෙන් හෘද රෝග වැළඳීමේ අවදානම අඩු වීමට පුළුවන්. මෙහි පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය ද හෘද රෝගවලින් මිඳීමට උපකාරී වෙනවා. ඩ්‍රැගන් ෆෘට්වල පවතින අධික තන්තු සහිත බව හේතුවෙන් ආහාර ජීර්ණ පද්ධති‍යේ ක්‍රියාකාරිත්වය යහපත් කරකවා. මෙහි පවතින තන්තුමය ස්වභාවය හේතුවෙන් රුධිරයේ අඩංගු සිනී මට්ටම ද පාලනය කිරීමට සමත්. මෙහි අන්තර්ගත විටමින්, ඛණිජ ලවන, විටමින් සී, විටමින් B1, B2 සහ BC යනාදී පෝෂණ සංඝටක මඟින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත් කරනවා.

ඩ්‍රැගන් ‍ෆෘට් හි අඩංගු 83%ක් පමණ ජලය හේතුවෙන් විෂබීජ ආසාදන තත්ත්වවලට ඔ‍රොත්තු දීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය ඩ්‍රැගන් ෆෘට් ආහාරයට ගැනීමෙන් ලබාගන්න පුළුවන්.

මෙහි අඩංගු විටමින් සී සංඝටකය මඟින් මිනිසාගේ පෙනීම වර්ධනය කරනවා. ඇස්වල දෘෂ්ටි විතාන කොටසෙහි ආරක්ෂාව රඳවා ගැනීම සඳහා ඩ්‍රැගන් ‍‍ෆෘට් හි ඇති පෝෂණය ඉතාමත් ම වැදගත්. රාත්‍රී කාලයේ පෙනීම දුර්වල පුද්ගලයන්ට මේ පලතුර හිතකරයි. ඇසේ ලප ඇතිවීම වැනි ආබාධවලට මෙය ගුණදායකයි.

ශක්තිමත් අස්ථි පද්ධතියක් පවත්වා ගැනීම සඳහා ද ඩ්‍රැගන් ‍‍‍ෆෘට්වල පවතින බොහෝ පෝෂණ සංඝටක බලපානවා. ඇටකටු සහ ‍දත්වල ආරක්ෂාව දිගු කාලීනව පවත්වා ගැනීමට මෙය කදිම පලතුරක්. ඔස්ටියෝපොරෝසිස් යනු මැදිවියේ කාන්තාවන්ට ඇතිවන සුලබ රෝගී තත්ත්වයක්. මේ පලතුර ආහාරයට ගැනීමෙන් එවැනි රෝගීන්ගේ අස්ථි වේදනා තරමක් සුව කර ගත හැකි බව වෛද්‍යවරු ප්‍රකාශ කරනවා.

ඩ්‍රැගන් ‍‍‍ෆෘට්වල පවතින කුඩා ඇට වැනි බීජ මඟින් සමට විශේෂ පෝෂණයක් ලැබෙනවා. මේ බීජවල ඇතුළත් ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන්, දීප්තිමත් සමක් උරුම කර ගැනීමටත් පුළුවන්.

අන්තර්ජාලය ඇසුරිනි

 

නව අදහස දක්වන්න