යුරෝපීයන්ට රුසියාවට ඇතුළුවීමට ඉඩ ලබා දී නෑ | දිනමිණ

යුරෝපීයන්ට රුසියාවට ඇතුළුවීමට ඉඩ ලබා දී නෑ

 යුරෝපා හවුල විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ප්‍රතිචාර දක්වමින් යුරෝපා රටවලින් පැමිණි කිහිපදෙනෙක්ට රුසියාවට ඇතුළ්වීමට ඉඩ ලබා නොදීමට කටයුතු කළ බව රුසියන් විදේශ කටයුතු ඇමැතිවරයා තහවුරු කර තිබේ. රුසියාවට ඇතුළ්වීමට අවසර නොලැබුණ අය අතර යුරෝපීය දේශපාලයන් , රාජ තාන්ත්‍රිකයන් සහ යුද විශේෂඥයන් ද සිටින බව වාර්තා වේ.

ඔවුන්ගේ නිශ්චිත නම් සඳහන් කිරිමෙන් ඉතාලි බලධාරීහු වැළකී ඇත. නම් ලැයිස්තු අදාළ තානාපති කාර්යාල වෙත යවා ඇතැයි වාර්තා වේ.

මොවුන් අතුරින් 89 දෙනෙක් යුරෝපා පුරවැසියන් බවත්, 18 දෙනෙක් පෝලන්ත ජාතිකයන් බවත් සඳහන්ය. තම පුරවැසියන්ට රුසියාවට ඇතුළ්වීමට අවසර නුදුන්නේ මන්ද යන්න පිළිබඳ ඇතැම් රටවල් රුසියාවෙන් ප්‍රශ්න කර ඇතැයි නොවොස්ටි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. අමෙරිකන් පුරවැසියන්ට ද එරෙහිව මෙවැනි පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එම පුද්ගලයන්ගේ නම් ඇතුළත් ලැයිස්තු ප්‍රසිද්ධ කරන ලෙස රුසියාව ඉල්ලා නැත.

යුරෝපා ජාතිකයන් 89 දෙනෙක්ගේ නම් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයි යුරෝපා හවුලේ විදේශ කටයුතු ප්‍රධානී ප්‍රෙඩ්‍රිකා මොග්හෙරිනි පවසයි .එම පියවර අයුක්ති සහගත බවත් කරුණු පැහැදිලි කිරීමකින් සහ විනිවිද බවින් තොරව එම පියවර ගෙන ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර යුරෝපා හවුල විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධකවල කොටසක් වශයෙන් ඇතැම් රුසියන් ජාතිකයන්ට යුරෝපා රටවලට ඇතුළ්විම තහනම් කර තිබේ. රුසියාවට එරෙහිව මෙවැනි සම්බාධක පනවා ඇත්තේ යුක්‍රේන අර්බුදයේ දී රුසියාව දරන ස්ථාවරය හේතුවෙනි.

නව අදහස දක්වන්න