තනතුරෙන් ඉවත් වන්නැයි බ්ලැටර්ට බලපෑම් | දිනමිණ

තනතුරෙන් ඉවත් වන්නැයි බ්ලැටර්ට බලපෑම්

වර්නන් ගුණසේකර

 ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසට වත්මන් සභාපති ස්ටෙප් බ්ලැටර් ට ලොව දසතින් කෙරෙන කෝපාවිශ්ට ඉල්ලීම් ඊයේ වන විට උත්සන්න වෙමින් තිබිණි.

සම්මේලනයේ (ෆිෆා) කොංග්‍රසය ඊයේ ස්විට්සරලන්තයේ සූරිච් නුවරදී ඊයේ ආරම්භ වීමට නියමිතව තිබූ අතර සභාපති ධුරය සඳහා ඡන්ද විමසීම අදට යෙදී තිබිණි.

කොංග්‍රසය ආරම්භ කිරීම සඳහා බ්ලැටර් සූදානම් වෙද්දී සම්මේලනයේ පරිපාලන කටයුතු ශුද්ධ කරන ලෙසට ලෝක පාපන්දු ක්‍රීඩාවට මිලියන ගණනින් මුදල් යොදවන ඉහළම පෙලේ අනුග්‍රාහකයන් වන කොකාකෝලා, අඩිඩාස්, මැක්ඩොනල්ඩ්ස් හා විසා ඇතුළු ආයතන බොහොමයක් ඉල්ලා සිටියහ.

ජගත් පාපන්දු සම්මේලනයේ ඔවුන්ගේ හද පත්ලෙන්ම “ශක්තිමත් ආචාරධර්ම ක්‍රමවේදයක්” සමග එක්සත් සංස්කෘතියක් යළි ගොඩනගන තුරු තම අනුග්‍රහය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුව ඇතැයි විසා ආයතනය ෆිෆා ට දැනුම් දී තිබේ. සුඛෝපභෝගී සූරිච් හෝටලයකදී පෙරේදා අලුයම ෆිෆා ඉහළම පෙලේ නිළධාරීන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබියදීත් සිය කොංග්‍රසය හා සභාපති ඡන්ද විමසීම කළින් සැලසුම් කළ පරිදිම පවත්වා ගෙන යාමේ මුරණ්ඩු පිළිවෙතක් ජගත් පාපන්දු සම්මේලනය විසින් අනුගමණය කරමින් තිබිණි. එහෙත් එවැනි පිළිවෙතක් පිළිගත නොහැකි බවට ගෝලීය පාපන්දු ක්‍රීඩාවේ ඉහළ චරිත මෙන්ම පුවත්පත්ද කියා සිටියහ.

ඩොලර් මිලියන 150කට වැඩි අල්ලස් ගැනීමේ සිද්ධීන් අඩංගු දීර්ඝ කාලීන දූෂණ ක්‍රියාවලියට වැරදිකරුවන් වුවහොත් වසර 20ක් දක්වා සිරදඬුවම් විඳීමේ අනතුරට මුහුණ පා සිටින පුද්ගලයන් 14 දෙනා අතර පාපන්දු නිළධාරීන් 9 දෙනෙකුද සිටින බව අමෙරිකානු බළධාරීහු පවසති.

2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා දකුණු අප්‍රිකානු නිළධාරීන් ඩොලර් මිලියන 10ක් අල්ලස් වශයෙන් ගෙවා ඇතැයි අමෙරිකානු පරීක්ෂණ නිළධාරීන් පවසති. මේ අතර, 2018 හා 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් රුසියාව හා කටාර් රාජ්‍යයට ලබා දීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල කොටසක් ලෙසින් ජගත් පාපන්දු සම්මේලනයේ සූරිච් මූලස්ථානය ස්විස් පරීක්ෂකවරුන් විසින් වටලනු ලැබූහ. “ෆිෆා සභාපති තනතුරින් ස්ටෙප් බ්ලැටර් ඉවත් විය යුතුයි” 2018 තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමේ සටනින් රුසියාවට පරාජය වූ එංගලන්ත පාපන්දු සංගමයේ සභාපති ග්‍රෙග් ඩයික් කියා සිටියේය. මේ අතර තමන් අල්ලස් ලබා දුන් බවට කරන චෝදනා පදනම් විරහිත බව පවසන දකුණු අප්‍රිකානු පාපන්දු බළධාරීන්, ඊට සාක්කි ඉදිරිපත් කරන ලෙසට අභියෝග කර සිටිති.

තමන්ගේ සීමාවන්ට එහා යමින් සිය අධිකරණ බලය නිත්‍යානුකූල නොවන පරිදි යොදවන බවට රුසියාව විසින් අමෙරිකාවට චෝදනා කරයි.

නව අදහස දක්වන්න